silumina

ධ්‍යාපනයට වියදම් කරන ප්‍රමාණයෙනුත් මුදලක් වැය වෙනවා මේ රෝග ගැන දැනුවත් කිරීම් සඳහා. හැබැයි අපි දන්න විදිහට මත්පැන්වලින් ලබන ආදායම වර්ෂයකට බිලියන 150යි. නමුත් ඊට වඩා විශාල මුදලක් මේවා පානය නිසා වැළඳෙන රෝගවලට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වියදම් වෙනවා. ඇත්තටම මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව වත්මන් ජනාධිපතිතුමා දැඩි පියවරක ඉන්නවා. 

මීටරේ ගැන වගේ වගක් නැතිව සූර් වෙන්නට පොදි කෑ සූර් කාරයෝ පුවත් මවනු දුටු විට කොරෝනා නොව ලෝක විනාශය වුවත් ඔවුන්ට නම් ගාණක් නැතිබව පෙනුණි. පොරකමින්, කෑ ගසමින් බුරුතු පිටින් ගත් බෝතල් කලිසම් සාක්කුවල දමන සේයාරූ පවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විණි. කන්නට නැතැයි කියන දහස් ගණන් මැසිවිලි, අදෝනා මැද කන්නට දුන් රුපියල් 5000 ද රැගෙන බාර් පෝලිම්වල සිටි ඇතැමුන්ට බාර් ඇරීම දිව්‍යලෝකයට යන්නට ලයිසන් දුන්නා වැනි සතුටක් ගෙනාවේය. මත්පැන් බෝතල් ලබාගත් වැඩිහිටි, තරුණ, මහලු භේදයකින් තොර ඇතැමෙක් රටක් රාජ්‍යයක් ලැබුණා සේ ඉහවහා ගිය සතුටකින් නික්ම යන සෙයක්ද දිස්විණි. ඒ සියලු දේ දකින තවකෙක් ‘අනේ අපොයි ගිය කලක්‘ සේ පවසන්නෙ උපේක්ෂාවෙන් මෙන්ම ක්‍රෝධයෙන්ද යුතුවයි.

මෙසේ මිනිසුන් හැසිරෙන සියලු ස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සහ විධි අනුගමනය කරවීමට පොලිසියද දැඩි වෙහෙසක් ගන්නා අයුරුද පෙනිණි.

මේ කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය කාලයේ රටම අක්‍රීයව තිබූ මොහොතක මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ මත්පැන් හල් යළි විවෘත කිරීමත් සමඟ දක්නට ලැබුණු ආකාරයයි.

මෙරට තුළ තිබෙන 4092ක් පමණ වන මත්පැන් අලෙවිසල් අතුරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල සුපිරි වෙළෙඳසල්හි මත්පැන්සල් ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 23හි මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට පසුගිය 13 වැනිදා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර දුන්නේය.

ලෝකයම කොරෝනා මාරයාගෙන් ව්‍යසනයකට පත්ව තිබුණද අන්තරායකර ඖෂධ පාලක මණ්ඩල 2019 සමීක්ෂණ දත්තා වාර්තාවකට අනුව රට තුළ සිටින තිස්ලක්ෂයක් පමණ වන මත්පැන් ලෝලීන්නම් ඉන් අමන්දානන්දයට පත්ව සිටි ආකාරයකි.

එහෙත් සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ දෙනෙක් එකී තීන්දුවටනම් එතරම් ප්‍රසාදයක් දක්වන බවක් නොපෙනේ. අපි මේ පිළිබඳව දුම්වැටි සහ මධ්‍යසාරවලට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි (NATA) සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂගෙන් විමසීමක් කළෙමු. “ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මත්පැන් හල් විවෘත කිරීම පිළිබඳව අපේ තියෙන්නෙ ඉතාම නොසතුටක්. මොකද වර්තමානයේ ලෝකයම කොවිඩ් 19 නමැති සෞඛ්‍ය ගැටලුවට මුහුණ දීලා ඉන්නෙ.

මේ කොවිඩ් 19න් බේරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවානේ. ඒවා දැන් කවුරුත් දන්නවා. හැබැයි මගේ මතය වහාම මේ කොවිඩ් 19න් බේරීමට මත්පැන් සහ සිගරට් බීමත් තහනම් කළ යුතුයි. ඇඳිරිනීති කාලේ නොතිබූ රිය අනතුරු, කලකෝලාහල සියල්ලම මේ මත්පැන් හල් විවෘත කිරීමත් සමඟ වැඩිවීමට තිබෙන අවස්ථාව වැඩියි. එයත් සෘජුවම බලපාන්නෙ මේ මොහොතේ කොවිඩ් වසංගතය තුරන් කිරීමට ප්‍රධාන ලෙස කැපවෙලා සිටින සෞඛ්‍ය අංශයට. අද වන විට ලෝකයේ රටවල් 14ක් තියෙනවා ඇල්කොහොල් තහනම්. ඇයි අපි වගේ රටකට ඒක කරන්න බැරි.

තහනම් කරන්න බැරිනම් මෙවැනි අවස්ථාවක හරි වහලා දාන්න තිබුණනේ; ඒකයි අපේ මතය. ඒ සමාධි රාජපක්ෂ ජනතාවට දෙන ඔවදනයි.

නැවතත් මත්පැන් අලෙවිසල් විවෘත කිරීමත් සමඟ ඇතිවී තිබෙන තත්ත්වය ගැන සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසන්නෙ මෙවැන්නකි.

“ඇඳිරිනීතිය ඉවත් කළ පළාත්හි ඇඳිරිනීති ලිහිල් කළ කාලසීමාවන්හි සෙසු පාරිභෝගික භාණ්ඩ ආකාරයටම මේ භාණ්ඩයත් අලෙවි කිරීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. හැබැයි ඒ අය අනිවාර්යයෙන්ම ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවල විධානයන්ට යටත්ව ඒ දේ කළ යුතුයි.

එසේ නොමැතිව යම් අලෙවිසලක් කටයුතු කළහොත් අපි දැඩි තීන්දු ගන්නවා. යම් ආකාරයක ලිහිල් කළ ඇඳිරිනීතියක් බලපැවැත්වෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ජාලගත සුපිරි වෙළෙඳසල්හි පිහිටා තිබෙන මත්පැන් අලෙවිසල් විවෘත කිරීමටත් අපි අවසරය දීලා තියෙනවා. එවැනි තැන්වල පිහිටි අලෙවිසල්වලට අවසරය දීමට හේතුව තමයි, ඔවුන් සමාජ දුරස්ථභාවය තබා ගැනීමට ඉඩකඩ පහසුකම් සහිතව වෙළෙඳසල් පවත්වාගෙන යෑම වගේම ඉතාම ඉහළ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන නිසායි. නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසන්නෙ තවත් දින කීපයකින් මත්පැන් අලෙවිසල් අසල පෙර තිබූ යථා තත්ත්වය නැවතත් උදාවන බවකි. 

කොරෝනා මාරයා තවමත් මෙරටින් පහව නොගොස් තිබියදී මත්පැන් අලෙවිසල් විවෘත කිරීමත් ඉන් අත්විය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වගකිවයුත්තන් දිගින් දිගටම දැනුවත් කළ බව එම සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා නිසි පරිදි රට යථාවත් නොවූ මොහොතක මත්පැන් අලෙවිසල් විවෘත කිරීම ගැන මෙසේ අදහස් දැක්වීය.

“කොරෝනා සමඟ මේ ගෙවෙන කාලය තුළදී මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් සම්පූර්ණයෙන්ම බැහැර විය යුතුයි කියන දේ තමයි විශේෂඥ මතය. මේ කොරෝනා වසංගතයෙන් අපේ රටේ මියගිය නව දෙනාගෙන් අට දෙනෙක්ම බෝ නොවන රෝගවලින් පෙළුණු අය.

ඉතින් ඉන් කියැවෙන්නෙ කොරෝනාවලින් මියයෑමට වැඩි අවස්ථාවක් තියෙන්නෙ බෝ නොවන රෝගවලින් පෙළෙන අය කියන දෙයයි. සාමාන්‍යයෙන් බෝ නොවන රෝග වලට ප්‍රධානම කරුණු හතරක් බලපානවා. එක වැරැදි පෝෂණ ක්‍රම; දෙක ශාරීරික ක්‍රියාකාරිත්වය මඳකම; තුන මත්පැන්; හතර දුම්වැටි. ඉතින් ඒ ප්‍රධානම කාරණාවලින් දෙකක්ම මත්පැන්, දුම්වැටි. මේ මත්පැන්, දුම්වැටි පාලනය කළොත් ඉබේම කොරෝනාත් පාලනය වෙනවා. බලන්න... සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කරන බිලියන 260න් වැඩි ප්‍රමාණයක් වැය වන්නෙ මේ බෝ නොවන රෝග වෙනුවෙන්.

ඒ වගේම අධ්‍යාපනයට වියදම් කරන ප්‍රමාණයෙනුත් මුදලක් වැය වෙනවා මේ රෝග ගැන දැනුවත් කිරීම් සඳහා. හැබැයි අපි දන්න විදිහට මත්පැන්වලින් ලබන ආදායම වර්ෂයකට බිලියන 150යි. නමුත් ඊට වඩා විශාල මුදලක් මේවා පානය නිසා වැළඳෙන රෝගවලට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වියදම් වෙනවා. ඇත්තටම මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව වත්මන් ජනාධිපතිතුමා දැඩි පියවරක ඉන්නවා. ඒ ගැන අපි සතුටු වෙනවා. හැමෝම කළ යුත්තෙ එතුමාගේ දෑත ශක්තිමත්කොට මේ දේවල්වලට සහාය දීමයි.

මත්පැන් පානයට එරෙහිව එලෙස රටේ විවිධ තරාතිරම්හි පිරිස් අතුරින් කුමනාකාරයේ විරෝධතා එල්ල වුවද මත්පැන් පානයෙන් ලෝකයේ 84 වැනි ස්ථානයේ පසුවන අප රටෙහි ජනයාගෙන් දසලක්ෂයක පමණ පිරිසක් දිනකට මත්පැන් තොලකට ගාන බව සංඛ්‍යා ලේඛණවලින් පෙන්නුම් කෙරේ. කෙසේ වුවද මත්පැන් අලෙවිසල් විවෘතව තිබුණද රටේ ජනයා මේ මොහොතේ තම නිරවුල් මනසින් සිතාබලා බුද්ධිමත්ව නිවැරැදි තීන්දු තීරණ ගෙන ජීවත්විය යුතු කාලයක් බව අපද පසක් කර සිටින්නෙමු. ඒ කොරෝනා සටනින් පසු එළැඹෙන ආර්ථික සටනටද රටේ සැවොම මුහුණ දිය යුතු හෙයිනි.

සිළුමිණ

FaLang translation system by Faboba