Stopreg

මෙරට සෑම වර්ගකිලෝමීටර් 22කටම එක් මත්පැන් අලෙවිසලක් පිහිටා ඇති බැවින් තවදුරටත් මත්පැන් අලෙවිසල් සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම නවතාලිය යුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වාදෙන පරිදි මෙරට ලියාපදිංචි මත්පැන් අලෙවිසල් 2900කි. ඒ අනුව වර්ගකිලෝමීටර් 65,610ක භූමිභාගයක ඇති ශ්‍රී ලංකාවේ සෑම වර්ග කිලෝමීටර් 22කටම එක් මත්පැන් අලෙවිසලක් ඇති බව හෙළිවන්නේ යැයි සභාපතිවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ලියාපදිංචි නොවූ මත්පැන්හල්ද විශාල ප්‍රමාණයක් ඇති බැවින් වත්මන් ආණ්ඩුව තවදුරටත් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර නිකුත් කළහොත් මද්‍යසාර හේතුවෙන් නැගී ඇති ගැටලුකාරී තත්ත්වය තවදුරටත් වැඩිවනු ඇති බවද හෙතෙම කියා සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති සමාධි රාජපක්ෂ මෙසේද කීය.

මේ වන විට මද්‍යසාර පිළිකාකාරකයක් කියලත් ඔප්පු කරලා ඉවරයි. අපේ රටේ වසරකට 14,000ක් පිළිකා නිසා මියයනවා. එයින් 30%කට පිළිකා වැලඳීමට හේතුව දුම්වැටි භාවිතය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව 2019 වර්ෂයේ මත්පැන් බෝතල් මිලියන 300ක් අලෙවි කරලා තියෙනවා. එයින් මිලියන 160ක් බියර් කෑන්. මත්පැන් නිසා මිනිසා සෞඛ්‍යමය වශයෙන් මෙන්ම සමාජයීය වශයෙනුත් පිරිහෙනවා. එයින් සිදුවන පාඩුව රජයට මත්පැන් බලපත්‍රයකින් ලැබෙන ලාභයට වඩා කිහිපගුණයකින් වැඩියි. මේ පිළිබඳව තවදුරටත් රජය ඥානාන්විතව කල්පනා කළ යුතු වෙනවා.

ශිරන්තනි මානවඩු

 

FaLang translation system by Faboba